ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව(Material Engineering) පිළිබඳ ගැඹුරට

YGSL
5 min readApr 20, 2021

--

අවකාශයේ විවිධ මානයන් ගවේෂණය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍ය සොයා ගැනීමේ සිට රෝග සඳහා නැනෝ පරිමාණයේ ප්‍රතිකාර පවා සොයා ගැනීම දක්වා මූලික වන ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව යනු මානව දියුණුවේ හා පරිණාමයේ අනිවාර්ය අංගයකි. ද්‍රව්‍ය ඉංජිනේරුවන්, ඉංජිනේරු විද්‍යාවේ මූලධර්ම සහ ද්‍රව්‍යවල ගුණාංග යන්නන්, ගැටළු විසඳීමට හෝ පවතින ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීමට භාවිතා කරයි. යම් x නැමැති නිශ්චිත කාර්යයක් කිරීමට ද්‍රව්‍යයක් අවශ්‍ය බවත්, එය විශේෂිත හැඩය සහ මානයන් වැනි වෙනත් අවශ්‍යතා සපුරාලිය යුතු බවත් අපි කියමු. x නම් කාර්යය ඉටු කිරීම සඳහා භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වෙනත් අවශ්‍යතා පහසුවෙන් සපුරාලිය නොහැකි වීමට ඉඩ ඇත.

කාර්යය සඳහා අවශ්‍ය ගුණාංග ඇති බැවින් විශේෂිත ද්‍රව්‍යයක් මේ සඳහා තෝරා ගනු ලැබේ. ද්‍රව්‍යයක ගුණාංග සහජයෙන්ම ද්‍රව්‍යයේ ව්‍යුහය මත රඳා පවතී. ද්‍රව්‍යයක ව්‍යුහය යනු පරමාණු සහ අණු සැකසීම සහ ඒවා ද්‍රව්‍යය පුරා පැතිරී පවතින ආකාරයයි. සුදුසු සැකසුම් තාක්ෂණය තීරණය කිරීමෙන් ද්‍රව්‍යයේ ව්‍යුහය නියම කළ හැකිය. මේ අනුව නිවැරදි සැකසුම් ක්‍රම මඟින් සුදුසු ගුණාංග ප්‍රදර්ශනය කරන අවශ්‍ය ව්‍යුහය බිහි වේ. එලෙස සැකසූ ද්‍රව්‍යය අපේක්ෂිත ලෙස ක්‍රියා කළ යුතුය. එහි කාර්ය සාධනය ආර්ථික හා සමාජීය වශයෙන් පිළිගත හැකි විය යුතුය. එබැවින්, ද්‍රව්‍ය ඉංජිනේරුවරයෙකුගේ කාර්යභාරය වන්නේ කාර්යයට සුදුසුකම් ලැබිය හැකි විවිධ වර්ගයේ ද්‍රව්‍ය ඉදිරිපත් කිරීම සඳහා මෙම සාධක විවේචනාත්මකව ඇගයීමයි. විවිධ සැකසුම් තත්වයන් යටතේ ද්‍රව්‍යවල ගුණාංගවල වෙනස්වීම් පිළිබඳව ද ඔවුන් දැනුවත් ය.

ඉංජිනේරු විද්‍යාව පොදුවේ ගත් කල, උසස් ගණනය කිරීම් අනුව ඕනෑම ගැටළුවක් නිර්වචනය කළ හැකි විනයක් ලෙස හැඳින්වෙන අතර විසඳුම සාමාන්‍යයෙන් ගණනය නිරාකාරණය කිරීම මත රඳා පවතී. කෙසේ වෙතත්, ද්‍රව්‍ය ඉංජිනේරුවන් සෑම විටම ගණනය කිරීම් සමඟ කටයුතු නොකරයි. ඇතැම් ගැටලු හඳුනාගෙන ඒවා විසඳා ගත හැක්කේ ඒවා පිටුපස ඇති විද්‍යාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමෙනි. නිදසුනක් වශයෙන්, ලෝහ කැබැල්ලක මලකඩ බැඳීමට පටන් ගෙන ඇති බව සොයාගත් විට, තත්වයන් හොඳින් තක්සේරු කිරීමෙන් පසුව සුදුසු මලකඩ වැළැක්වීමේ ක්‍රමයක් භාවිතා කිරීමෙන් එය වළක්වා ගත හැකිය. මෙම ක්‍රියාවලියට සංකීර්ණ ව්‍යුත්පන්නයන් සහ ගණනය කිරීම් ඇතුළත් නොවේ.

ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව යනු ද්‍රව්‍යයක විවිධ පැතිකඩයන් සහ එහි පැවැත්ම ආවරණය කරන විශාල විෂය ක්ෂේත්‍රයකි. ද්‍රව්‍ය ඉංජිනේරුවන් ක්ෂේත්‍රයේ විවිධ දැනුම ක්ෂේත්‍ර ගවේෂණය කෙරේ. නමුත් එය ලෝහ, බහු අවයවික(polymers), වීදුරු, පිඟන් මැටි(ceramics), දැව වැනි විවිධ කාර්මික ද්‍රව්‍ය වල, විවිධ නිෂ්පාදන ක්‍රියාවලියන්ට පමණක් සීමා නොවේ. එයට අමතරව විවිධ තත්වයන් ද්‍රව්‍ය වල ගුණාංග කෙරෙහි බලපාන්නේ කෙසේද, මෙම ක්‍රියාවලීන් පිටුපස ඇති තාප ගති විද්‍යාව(thermodynamics) සහ අවශ්‍යතා අනුව ද්‍රව්‍ය සැලසුම් කිරීම සහ යෙදවීම සිදු කරන ආකාරයද මෙයට ඇතුලත් වේ. මේවාට අමතරව ප්ලාස්ටික් හා රබර්, සංයුක්ත ද්‍රව්‍ය(composite materials), ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, ජෛව ද්‍රව්‍ය, චුම්බක ද්‍රව්‍ය, ඉදිකිරීම් ද්‍රව්‍ය, පිඟන් මැටි(ceramics), බලශක්ති ද්‍රව්‍ය(energy materials) හා නැනෝ ද්‍රව්‍ය පිළිබඳ ගැඹුරු දැනුමක් විෂය මාලාවෙන් ලබා ගත හැකිය. ද්‍රව්‍යමය ඉංජිනේරුවන්ට වෙල්ඩින්(welding), විඛාදන වැළැක්වීම, ප්‍රතිචක්‍රීකරණය, මතුපිට ඉංජිනේරු විද්‍යාව(surface engineering) සහ චරිතකරණ ශිල්පීය ක්‍රම වැනි කාර්මික ක්‍රියාවලීන් පිළිබඳද මනා දැනුමක් ඇත. ද්‍රව්‍ය ඉංජිනේරුවන් වශයෙන් අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ පාරිසරික ගැටළු විසඳීම සඳහා වන අතර එමඟින් ක්‍රියාවලියක සෑම පියවරක්ම පරිසර හිතකාමී ලෙස සිදු කිරීමට කටයුතු කෙරේ.

පුළුල් දැනුම් ක්‍ෂේත්‍රය නිසා, ද්‍රව්‍යමය ඉංජිනේරුවන් කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍ර කරා පිවිසෙයි. ද්‍රව්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා අතරට ලෝහ, බහු අවයවික සහ පිඟන් මැටි කර්මාන්ත, නැනෝ ද්‍රව්‍ය නිෂ්පාදනය, ජෛව වෛද්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, බලශක්ති උත්පාදනය සහ ගබඩා කිරීම, මෝටර් රථ සැලසුම් සහ නිෂ්පාදන, පර්යේෂණ හා සංවර්ධනය, ගොඩනැගිලි සහ ඉදිකිරීම්, උසස් ද්‍රව්‍ය හා අභ්‍යවකාශ විද්‍යාව යන, ද්‍රව්‍ය ඉංජිනේරුවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන කර්මාන්ත බොහොමයක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා සන්දර්භය තුළ, ද්‍රව්‍ය ඉංජිනේරුවන් බහුලව දක්නට ලැබෙන්නේ:

1. නිෂ්පාදන ක්ෂේත්‍රය යනු ද්‍රව්‍ය ඉංජිනේරුවන්ට බහුල වශයෙන් අවස්ථාවන් ඇති ක්ෂේත්‍රයකි. ඔවුන්ව සාමාන්‍යයෙන් පත් කර ඇත්තේ දෛනික නිෂ්පාදන අධීක්ෂණය කිරීම සහ නිෂ්පාදන ප්‍රමිතීන් ප්‍රශස්ත කිරීම සහ සහතික කිරීම සඳහා ය. පොදු කර්මාන්ත අතර වීදුරු, වානේ, ටයර්, රෙදිපිළි, කේබල්, රබර් සහ පොලිමර් යනාදිය ඇතුළත් වේ.

2. ඉදිකිරීම් ක්ෂේත්‍රය තුල, තත්ත්ව සහතිකය (QA) පරීක්ෂා කිරීම, අමුද්‍රව්‍ය ලබා ගැනීම(raw material acquisition), අසාර්ථක බව විශ්ලේෂණය යනාදිය සඳහා ඔවුන් සම්බන්ධ වේ. ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ මනා දැනුමක් මෙම ක්ෂේත්‍රයේ අමතර වාසියක් වනු ඇත.

3. ක්ෂේත්‍රයේ වැඩ විවිධ පරිමාණයන්ගෙන් වෙනස් විය හැකි විශාල සමාගම්වල පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම් තුල(සාර්ව-macro සිට නැනෝ පරිමාණය දක්වා).

4. ව්‍යාපාර විශ්ලේෂකයින් / ERP විශ්ලේෂක කණ්ඩායම්, නව නිෂ්පාදනවල ශක්‍යතාව තක්සේරු කිරීම සඳහා නිෂ්පාදන දැනුම හා විශ්ලේෂණ කුසලතා එකතුවක් භාවිතා කරයි. නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඉලක්ක වෙළඳපල අතර පාලමක් ලෙස ඔවුන් ක්‍රියා කරයි.

5. විශේෂිත ක්ෂේත්‍රයන්හි ප්‍රකාශන හරහා වටිනා දැනුම සමාජය වෙත ලබා දීම සඳහා, පුද්ගලයන් උසස් අධ්‍යාපනය ලබන අධ්‍යයන ක්ෂේත්‍ර තුල.

ද්‍රව්‍ය ඉංජිනේරුවෙකුගේ යුතුකම් පහත ඇතුළත් නමුත් ඒවාට පමණක් සීමා නොවේ;

  • වෙනත් අංශවල ඉංජිනේරුවන් සමඟ ව්‍යාපෘති සැලසුම් කිරීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම
  • යෝජනා සෑදීම, අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම, වාර්තා පිළියෙළ කිරීම සහ අවශ්‍ය වෙනත් කළමනාකරණ කාර්යයන් සිදු කිරීම.
  • යටත් නිලධාරීන්ගේ සහ වෙනත් ඉංජිනේරුවන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම.
  • පරීක්ෂණ ක්‍රියා පටිපාටි සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම.
  • ද්‍රව්‍ය වල ක්‍රියාකාරිත්වය සහ ඒවායේ පරිහානිය නිරීක්ෂණය කිරීම.
  • දෝෂ නිරාකරණය, හේතු හඳුනා ගැනීම සහ ගැටලුවට විසඳුම් සෙවීම.
  • නව අදහස් හා නිෂ්පාදනවල සැලසුම් අරමුණු කර්මාන්තයට ආර්ථික ප්‍රතිලාභයක් වන ලෙස ඒවායේ ශක්‍යතාව ඇගයීම.
  • සමස්ත ද්‍රව්‍ය සැකසුම් ක්‍රියාපටිපාටිය තක්සේරු කර ඒවා පාරිසරික මාර්ගෝපදේශ පිළිපැදීමට වග බලා ගැනීම.

ශ්‍රී ලංකාවේ ද්‍රව්‍ය ඉංජිනේරුවන් සඳහා වන පොදු රැකියා භූමිකාවන් සමහරක් පහත ඇතුළත් නමුත් ඒවාට පමණක් සීමා නොවේ:

  • නඩත්තු ඉංජිනේරු — Maintenance engineer
  • පරීක්ෂණ ඉංජිනේරු — Inspection engineer
  • ක්‍රියාවලි ඉංජිනේරුවන් — Process engineers
  • පර්යේෂණ හා සංවර්ධන ඉංජිනේරු — Research and development engineer
  • ද්‍රව්‍ය ඉංජිනේරු — Materials engineer
  • පර්යේෂණ විද්‍යාඥ — Research scientist
  • තත්ව සහතික ඉංජිනේරු — Quality assurance engineer
  • ක්‍රියාවලි සංවර්ධන ඉංජිනේරු — Process Development Engineer
  • ලෝහමය විද්‍යාඥ — Metallurgist
  • සැලසුම් ඉංජිනේරු — Design engineer
  • ජෛව වෛද්‍ය ඉංජිනේරු — Biomedical engineer
  • ව්‍යාපෘති කළමනාකරු — Project manager
  • අභ්‍යවකාශ ඉංජිනේරු — Aerospace Engineer
  • විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු — Electrical and electronics engineer

ලියන ලද්දේ — සජිවන් අංගප්පන්

සිංහල පරිවර්තක — ​​රෝෂිනි ජයසුන්දර
දෙමළ පරිවර්තක — ​​මොහොමඩ් ඉසාඩ්

--

--

YGSL
YGSL

Written by YGSL

Science, Research, Industry & Innovation

No responses yet